Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව අධ්‍යාපනය හා විනෝදාශ්වාදය ලෝක උරුම වන භූමි
ලෝක උරුම වන භූමි

ශ්‍රී ලංකාව සතුව ස්වභාවිත ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත්කරන ලද වනාන්තර ප්‍රදේශ දෙකක් පවතින අතර, මෙම වනාන්තර ප්‍රදේශ පර්යේෂණ, අධ්‍යාපනය සහ ‍විනෝදාශ්වාදය සඳහා කදිම ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ.

  1. සිංහරාජ වනාන්තරය
  2. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය

නකල්ස් සංරක්ෂණ වනාන්තරය, සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශය, හා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය “ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය” (Central Highlands of Sri Lanka) ලෝක උරුමයට අයත් වනාන්තර වේ. සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශය එකිනෙකට යාව පිහිටි වනාන්තර කොටස් හතරකින් සමන්විත වේ. ඒවා නම් සමනල අඩවි ස්වභාවික රක්ෂිතය, ශ්‍රී පාද සංරක්ෂණ වනාන්තරය, මොරහෙල සංරක්ෂණ වනාන්තරය හා වලවේ නිම්න සංරක්ෂණ වනාන්තරය වේ.

සිංහරාජ ලෝක උරුම වන භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන අතර ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයට අයත් වනාන්තර කොටස් වලින් නකල්ස් සංරක්ෂණ වනාන්තරය සම්පූර්ණයෙන්ම ද සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශයේ පිහිටි වනාන්තර වලින් ශ්‍රී පාද සංරක්ෂණ වනාන්තරය, මොරහෙල සංරක්ෂණ වනාන්තරය හා වලවේ නිම්න සංරක්ෂණ වනාන්තරය ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් වේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයට අයත් ඉතිරි වනාන්තර කොටස් වන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය හා සමනල අඩවි ස්වභාවික රක්ෂිතය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වේ.

සිංහරාජ වනාන්තරය

“සිංහ රජෙක්” යන අර්ථයෙන් මෙම නාමය ලැබී තිබේ.  මෙම ප්‍රදේශය 1875 දී රක්ෂිත වාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර, 1978 දී අන්තර්ජාතික මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  ඉන් අනතුරුව 1988 වර්ෂයේදී ජාතික උරුම වන භූමියක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ.  1989 වර්ෂයේදී, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි. සිංහරාජ වාන්තරය හෙක්ටයාර් 11185 ක විශාලත්වයකින් යුක්තය.

ප්‍රවේශය:

සිංහරාජයට ප්‍රවේශවීමට ප්‍රධාන ප්‍රවේශ ස්ථාන 3 කි.

  1. කොළඹ - රත්නපුර - කලවාන මාර්ගය (කුඩව ප්‍රවේශය)
  2. කොළඹ - රක්වාන - මෝර්නිංසයිඩ් මාර්ගය (මෝර්නිංසයිඩ් ප්‍රවේශය)
  3. කොළඹ - දෙනියාය - මෙදේරිපිටිය මාර්ගය (පිටදෙනිය ප්‍රවේශය)
විශාල සිතියම ලබාගැනීමට මෙහි ක්ලික් කරන්න
දේශගුණය සහ භූ ලක්ෂණ:

සිංහරාජ වනාන්තරයේ දළ වාර්ෂික වර්ෂාපතනය මි.මී. 3000 – 6000 වන අතර වසර පුරාම වර්ෂාව පවතී.  දළ වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 – 25 අතර අගයක පවතී.  සිංහරාජ වනාන්තරය කඳු වැටි, නිම්න සහ තැනිතලා බිම් යනාදී වූ විවිධාකාර භූ විෂමතා ලක්ෂණ රැසකින් සමන්විත වේ.

වෘක්ෂලතාදී දර්ශ:

සිංහරාජ වනාන්තරයේ වෘක්ෂලතාදී දර්ශය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික නිවර්තන පහතරට තෙත් සදාහරිත වනාන්තර වර්ගයෙන් සමන්විත වේ.  මෙයට අමතරව, උප කඳුකර වනාන්තර සහ උප කඳුකර තෘණ බිම් ද දක්නට ලැබේ.  මෙම අද්විතීය වර්ෂා වනාන්තරයේ පාරිසරික විවිධත්වය සඳහා මිරිදිය වාසස්ථාන, කඳු සහිත බිම් කොටස් සහ අනෙකුත් ආශ්‍රිත පරිසර පද්ධති මගින් ද විශාල දායකත්වයක් සැපයේ.

මෙම වනාන්තරයේ සිරස් ස්ථරීභවනය ඉතා පැහැදිලි වූද, ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වූද, ලක්ෂණයකි.  හොර, බූහොර, දොරණ සහ දුන් යනාදී ශාක විශේෂවලින් ඉහළම ස්ථරය සමන්විත වන අතර, මෙම ස්ථරයේ මීටර් 45 කට වඩා වැඩි උසකින් යුත් ඉතා උස් ශාක දැකිය හැකිය.  ‍දෙවන ස්ථරය මීටර් 30 – 45 ක් පමණ උසකට වර්ධනය වන අතර, බටුනා, ඇටඹ, වල්දෙල්, ලියන් සහ නවද යනාදී ශාක විශේෂවලින් සමන්විත වේ.  මෙම ශාකවල අතු එකිනෙක හා පෑහී සංවෘත වියන් ස්ථරයක් සාදා තිබීම විශේෂ ලක්ෂණයකි.  දවට, හැඩවක, කිතුල් සහ වලුකීන යන ශාක විශේෂ තුන්වන ස්ථරයේ පවතින අතර, මෙම ස්ථරය මීටර් 15 – 30 අතර උසකට විහිදේ.  මෙයට පහළින් පවතිනුයේ යටි වියන් ස්ථරයයි.  මෙය මීටර් 20 ක් පමණ උසකට විහිදේ. පඳුරු ස්ථරය මීටර් 2 – 4 අතර උසකට ද බිම් ස්ථරය මීටර් 1 කට වඩා අඩු උසකට ද සීමා වී තිබේ.

ජෛව විවිධත්වය - ශාක විශේෂ

ආවේණික ශාක විශේෂ 192 ක්, ජාතික මට්ටමින් වඳවී යාමේ තර්ජනයට ලක් වූ ශාක විශේෂ 30 ක් සහ ගෝලීයව වඳවීයාමේ තර්ජනයට ලක් වූ ශාක විශේෂ 116 ක් ඇතුළු කාශ්ඨීය ශාක විශේෂ 337 ක් සිංහරාජ වනාන්තරය තුළින් හමුවී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ඕනෑම වනාන්තරයකින් වාර්තා වී තිබෙන ඉහළම කාෂ්ඨීය ශාක විශේෂ සංඛ්‍යාවයි.

සිංහරාජ වනාන්තරයේ ශාක සංයුතිය උත්කර්ශ හෝ ගතික සමතුලිතතා වෘක්ෂලතා දී දර්ශය නියෝජනය කරන අතර, ජීවීන්ගේ ජෛව ස්කන්ධයේ ශුද්ධ වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුනොවේ. ලෝකයේ තිබෙන පරිසර පද්ධති අතුරින් ඉතාම පහසුවෙන් විනාශවිය හැකි මෙන්ම එසේ විනාශ වූ විට ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ඉතා අපහසු පරිසර පද්ධතියක් ලෙස මෙය සැලකේ.  තව ද මෙය ශාක විශේෂවල වටිනා ජාන සංචිතයේ ගබඩාවකි. මෙම ජාන සම්පත මගින් ලබාගත හැකි අමිල ප්‍රයෝජන තවම හඳුනාගෙන නැත.  සිංහරාජ වනාන්තරය සතුව පුළුල් පරාසයක් තුළ ව්‍යාප්ත වු වටිනා ශාක සම්පතක් දක්නට ලැබේ. මෙම ශාක අතර, ඈත අතීතයේ ගොන්ඩ්වානා සමයේ පැවති ශාක පුජාවට නෑකම් කියන්නා වූ ඒකදේශීය කාශ්ඨීය වෘක්ෂලතාදී දර්ශ විශාල ප්‍රමාණයක් පවතී.

ජෛව විවිධත්වය - සත්ත්ව විශේෂ:

ඉතා සෙමින් සංචරනය කරන ගොළුබෙල්ලාගේ සිට ප්‍රතාපවත් දිවියා දක්වා වූ පුළුල් පරාසයක් තුළ ව්‍යාප්තව පවත්නා සත්ව විශේෂ රැසකට සිංහරාජ වනාන්තරය වාසස්ථාන සපයයි. සිංහරාජ වනාන්තරයෙන් සත්ව කුළ 140 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

සිංහරාජ වනාන්තරය තුළින් මත්ස්‍ය විශේෂ 19, උභයජිවීන් විශේෂ 33 ක්, උරග විශේෂ 71 ක්, පක්ෂීන් විශේෂ 147 ක් සහ ක්ෂීරපායීන් විශේෂ 44 ක් වාර්තා වි තිබේ.  රටේ සිටින දේශීය පක්ෂි විශේෂ අතුරින් 60% ක් පමණ මෙන්ම, මෑතකදී සොයාගත් otus thilohoffmanni නම් බකමූණු විශේෂය ද ඇතුලුව ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 ම මෙම වනාන්තරයෙන් වාර්තා වී තිබේ. සිංහරාජ වනාන්තරය තුළ දැකිය හැකි වඩාත්ම සුන්දර දසුනක් වන්නේ පක්ෂි විශේෂ ගණනාවක් එකතු වී "නඩ" වශයෙන් වනයේ සැරිසැරීමයි.  මෙය වර්ෂා වනාන්තරවල දක්නට ලැබෙන සංසිද්ධියකි.  ආවේණික වඳුරු විශේෂ දෙකක් වන කළු වඳුරා සහ දම් මුහුණැති කොළ වඳුරා මෙහිදී දැකිය හැකිය.  සිංහරාජ වනාන්තරය තුළ සාම්බාර් ගෝනුන්, දිය බල්ලන්, මී මින්නන්, වල් ඌරන්, රන් හෝතඹුවන්, හම්බාවන්, හඳුන් දිවියන් සහ වල් බළලුන් ද දැකිය හැකිය.  වනාන්තරය අභ්‍යන්තරයේදී කලාතුරකින් ශ්‍රී ලංකාවේ දිවියා (Panthera pardus kotiya) ද දැකගත හැකිය.

Idea Lynceus jasonia සහ Troides Helena darsius  වැනි අවේණික සමනල විශේෂ ද ඇතුළුව සමනල විශේෂ 65 ක් පමණ ද සිංහරාජ වනාන්තරය තුළදී දැකගත හැකිය.  මෙයට අමතරව විවිධ විශේෂවල මකුළුවන්, උරගයින්, මිරිදිය මත්ස්‍යයන් සහ උභය ජීවීන්ද සිංහරාජ වනාන්තරය තුළින් හමුවේ.

ජල විද්‍යාත්මක වැදගත්කම:

ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන ගංගාවන් දෙකක් වන, කළු ගඟ සහ ගිං ගඟ පෝෂණය කරන්නා වූ සංකීර්ණ ජල මාර්ග පද්ධතිය ආරම්භ වන්නේ මෙම වනාන්තරය තුළිනි. සිංහරාජ වනාන්තරයේ දකුණු කොටසින් පැන නඟින ජල මාර්ග මඟින් ගිං ගඟ පෝෂණය වන අතර, නා පොළ දොළ, කොස්ගුලාන ගඟ සහ කුඩව ගඟ මඟින් කළු ගඟ පෝෂණය කෙරේ.

ස්වභාවික මංපෙත්:

සංචාරකයින් හට වැදගත් ‍‍ඓතිහාසික, පාරිසරික, ජෛව විද්‍යාත්මක ස්ථාන ආරක්ෂිතව, පහසුවෙන් ‍ගවේෂණය කිරීම සඳහා මෙම ස්වභාවික මංපෙත් නිර්මාණය කර තිබේ.  කෙසේවුවද, මෙම මංපෙත් ඔස්සේ ගමන් කිරීමේදී සංචාරකයින් විසින් පුහුණුව ලත් මාර්ගෝපදේශකයින්ගේ සහාය ලබාගත යුතුය.

මුලාවැල්ල මංපෙත ගල්ලෙන්යායා මංපෙත
දොරණ ඇල්ල ‍මංපෙත පිටදෙනිය සෙල්පවුර පාරිසරික සංචාරක ප්‍රදේශය
වතුරාව මංපෙත ලංකාගම පාරිසරික සංචාරක ප්‍රදේශය
හල්මංඩිය දොළ මංපෙත මෝර්නිංසයිඩ් දූවිලි ඇල්ල මංපෙත
යෝධ නවද ගහ මංපෙත මෝර්නිංසයිඩ් ජල තටාක මංපෙත
සිංහගල මංපෙත

වතුරාව - මුලාවැල්ල මංපෙත ඔස්සේ ඓතිහාසික නවද ගස, සිංහගල සහ "ගල්-ලෙන්-යාය" නමින් හඳුන්වන ගල් ගුහා සමුහය කරා ලඟාවිය හැකිය.  වසර 500 කට වඩා පැරණි මෙම මහේශාක්‍ය නවද ගස (Shorea stipularis) සිංරාජ වනාන්තරය තුළ දක්නට ලැබෙන විශිෂ්ඨ දර්ශන අතුරින් එකක් පමණි.  මෙම ආවේණික ශාකය මීටර් 40 ක් උස වන අතර, මීටර් 6.4 ක විශ්කම්භයක් සහිතය.  මුලාවැල්ල කඳුගැටය මතට නඟින අයකුට වනාන්තරයේ මනස්කාන්ත දර්ශනය මනාවට දැක බලාගත හැකිය.  සිංහරාජය තුළ හමුවන කඳු ගැටි නවය අතුරින් සිංහගල වඩාත් කැපී පෙනේ.  මෙම ස්ථානයේ සිට නරඹන විට හරිත වර්ණයෙන් විවිධ පැහැයන්ගෙන් විචිත්‍රවත් වූ අඛණ්ඩ වියන් ස්ථරය මනාව නැරඹීමට අවස්ථාව උදාවන බැවින් කුඩව - සිංහගල මංපෙත සිංහරාජ හරිත තොටිල්ල තුළ හමුවන වඩාත් ආකර්ශනීය මංපෙත වේ.

පහසුකම්:
  • කුඩව සහ පිටදෙනිය අවට පුහුණු මාර්ගෝපදේශකයින් යොදවා තිබේ.
  • පිටදෙනිය සහ කුඩව යන ස්ථානවල තොරතුරු මධ්‍යස්ථාන 2 කි. මේවායේ ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ සහිත වූ ශ්‍රවනාගාර පහසුකම් සැපයේ.
  • තොරතුරු සපයන මුද්‍රිත ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානවලින් මිලදීගත හැකිය.
නවාතැන් පහසුකම්:

වනාන්තරය ආසන්නයේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නවාතැන් පහසුකම් සපයා තිබේ. මෙයට අමතරව වනාන්තරයට ලඟාවීමට පහසු දුරකින් පුද්ගලික හෝටල් සහ නිවාඩු නිකේතන කිහිපයක් ද පිහිටුවා තිබේ.

නවාතැන පිහිටීම නවාතැන් ස්වභාවය ලැගුම්ගත හැකි සංඛ්‍යාව
කුඩව මූලික කඳවුර කුඩව ඩෝමෙට්රිය 30
කුඩව මූලික කඳවුර කුඩව කැබින් කාමරය 12
කුඩව මූලික කඳවුර කුඩව කැබින් කාමරය 06
කුඩව මූලික කඳවුර කුඩව කැබින් කාමරය 04
මුරකැලේ බංගලාව කුඩව නිවහන 11
මෝර්නිංසයිඩ් බංගලාව මෝර්නිංසයිඩ් නිවහන 11
වනිගසේකර ශාලාව - පිටදෙනිය පිටදෙනිය ඩෝමෙට්රිය 16
පිටදෙනිය නිවහන පිටදෙනිය ඩෝමෙට්රිය 16
ගිං ගඟ වන නිවහන පිටදෙනිය නිවහන 05
කඳවුරු බිම් සහ නවාතැන් වෙන්කිරීම

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු සංචාරක බංගාලා / කඳවුරු බිම් වෙන්කිරිම බත්තරමුල්ලේ, රජමල්වත්ත පාරේ සම්පත්පාය පරිශ්‍රයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මඟින් පමණක් සිදුකරයි. මේ සඳහා වන ඉල්ලීම් සතියේ වැඩකරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ඉදිරිපත් කළයුතුය.

දුකථන අංක +94 11 2866631, +94 11 2866632, +94 11 2875540
දිගුව 250
අදාල අංශය වන සංගණන හා කලමනාකරණ අංශය
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.
  • දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, රත්නපුර, දුකථන අංක : (045) 2222171
  • දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, ගාල්ල, දුකථන අංක : (091) 2234306

ඉහළට

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය - නකල්ස් වනාන්තර පංතිය

මෙම කඳු පන්තියේ මිට මොලවාගත් හස්තයක ස්වරූපය පෙන්වන කඳු මුදුන් පහක් පිහිටීම හේතුවෙන් ඊට නකල්ස් යන නම ලැබී තිබේ.

දුමින් බරවූ කඳු පන්තිය යන අරුත ඇති "දුම්බර කඳු වැටිය" යන නමින් හඳුන්වන මෙම කඳුයාය නුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 21000 ක් පුරා ව්‍යාප්තව පවතී.  මෙම කඳු පන්තිය දුම්බර නිම්නය ලෙස හඳුන්වන ගැඹුරු නිම්නයකින් මධ්‍යම කඳුකරයෙන් වෙන් වී තිබේ.  මුහුදු මට්ටමේ සිට මීටර් 1000 කට වඩා වැඩි උසකින් යුක්ත කඳු මුදුන් 35 කින්, මීටර් 1500 කට වඩා වැඩි උසකින් යුක්ත කඳු මුදුන් 20 කින් සහ මීටර් 2000 කට වඩා වැඩි උසකින් යුක්ත කඳු මුදුන් දෙකකින් නකල්ස් වනාන්තරය සමන්විත වේ.

1873 වසරේදී මීටර් 1500 කට වඩා ඉහළ උසකින් යුක්ත නකල්ස් කඳු පන්තිය දේශගුණික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  වසර 2000 අප්‍රේල් මාසයේදී මෙය සංරක්ෂණ වනාන්තරයක් ලෙස ද, ඉන්පසු ජාතික මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද ප්‍රකාශයට පත්කරන ලදි.  2010 වසරේදී නකල්ස් කඳුවැටිය, හොර්ටන් තැන්න හා ශ්‍රීපාද අඩවිය ඇතුලත් කොට “ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය” (Central Highlands of Sri Lanka) නමින් ස්වභාවික ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.

ප්‍රවේශ මාර්ග:

දුම්බර කඳුවැටිය කරා ලඟාවීමට තිබෙන ඉතාම පහසු මෝටර් රථයකට ගමන් කළහැකි මාර්ග වන්නේ, නුවර - මාතලේ - රත්තොට හරහා තිබෙන කොළඹ - ඉලුක්කුඹුර මාර්ගය, කුරුණෑගල - ගලේවෙල - නා උල - පල්ලෙගම හරහා කොළඹ - ඉලුක්කුඹු මාර්ගය, නුවර - වත්තෙගම - තෙල්දෙනිය හරහා වැටී තිබෙන කොළඹ සිට බඹරැල්ල දක්වා මාර්ගය, නුවර-රන්ගල-කෝර්බට්ස්-කපොල්ල (කොරටුව මුදුන) හරහා තිබෙන කොළඹ - ඩින්ස්ටන් මාර්ගයයි.

විශාල සිතියම ලබාගැනීමට මෙහි ක්ලික් කරන්න
දේශගුණය:

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පුළුල් විවිධත්වයකින් යුක්ත සියළුම දේශගුණික තත්වයන් දුම්බර කඳුවැටිය මඟින් නියෝජනය වේ.  මෙම තත්වයන් අතිශයින් තෙත් දේශගුණයක සිට ශුෂ්ක දේශගුණයක් දක්වාම පුළුල් ව්‍යාප්තියක් පෙන්වයි.  දළ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5000 ක් පමණ වූ අතිශයින් තෙත් දේශගුණයක් කඳුකර වනාන්තර ප්‍රදේශවල දක්නට ලැබෙන අතර, දළ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2500 කට වඩා අඩු වර්ෂාපතනයක් ලබන පහත් බිම් ප්‍රදේශද මෙම දුම්බර වනාන්තරය තුළ දක්නට ලැබේ.  ඇතැම් ප්‍රදේශවල ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදී තුහින පතනයක් ද දක්නට ලැබේ. තව ද, අධික සුළං තත්වයක් ද මෙම ප්‍රදේශය තුළ බල පැවැත්වේ.

වෘක්ෂලතාදී දර්ශ:

නිම්න ආශ්‍රිතව නිවර්තන පහතරට අර්ධ සදාහරිත වනාන්තර වර්ගය දක්නට ලැබෙන අතර, මෙම වනාන්තර වර්ගය මිල්ල, මොර, වෙලං, බදුල්ල ආදී විශාල ශාක වශේෂවලින් සමන්විත වේ.  ඉහළ කඳුකර වර්ෂා වනාන්තර ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන නිවර්තන කඳුකර තෙත් සදාහරිත වනාන්තර ඉහළ බෑවුම්, කඳුවැටි සහ කඳු මුදුන්වල දක්නට ලැබේ.

"වළාකුළු වනාන්තර" ලෙස හඳුන්වන ඉහළ ස්ථානවල පිහිටි වනාන්තර තුළ වර්ණවත් ඕකිඩ්, පරණාංග සහ පාසි වර්ග දක්නට ලැබේ. ගස්වල කඳන් මත සහ තෙතමනයෙන් යුක්ත ගල් මත තුනී පටල ආකාරයෙන් පවත්නා පරණාංග මෙම වනාන්තරවල සුලභ දසුනකි. කඳුවල පහළ බෑවුම් ප්‍රදේශවල, නිවර්තන උප - කඳුකර තෙත් අර්ධ සදාහරිත වනාන්තර දක්නට ලැබේ.  වියළි බෑවුම් ප්‍රදේශවල වියළි උප කඳුකර, තෙත් අර්ධ සදාහරිත වනාන්තර දක්නට ලැබේ.  ගංගා සහ දිය පහර ආශ්‍රිතව සශ්‍රිකව වැඩුණු ගංගාධාර වනාන්තර ව්‍යාප්තව පවතී.

කඳු බෑවුම්වල විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් ව්‍යාප්තව පවත්නා තෘණබිම්වල තැනින් තැන විසිරුණු හුදකලා ශාකවලින් යුත් සවානා බිම් දැකිය හැකිය.  මුහුදු මට්ටමේ සිට මීටර් 1000 කට අඩු උසකින් යුක්ත කඳු වැටි මත එකිනෙකට ඉතා ආසන්නව වැඩුණු තෘණවලින් සැදුම්ලත් පතන තෘණබිම් හමුවේ.

"පිටවල පතන"  නමින් හඳුන්වන සුවිශේෂී තෘණ භූමිය සෞන්දර්යාත්මක වටිනාකම අතින් ඉතාම ඉහළ අගයක පවතී.  මීටර් 10 ක් පමණ උසට වැඩුණු තෘණ ආවරණය හෙක්ටයාර් 10 ක පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිරී පවත්නා අතර, මෙයට යටින් සුළු බෑවුවක් සහිත වූද සෙන්ටිමීටර් 10 – 15 ක ඝනකමින් යුක්ත වූ තුනී පස් තට්ටුවක් සහිත වූද ගල් තලාවකි.

වත්මන් හා පැරණි ජනාවාස වටා ඝනට වැඩුණු කටු පඳුරු සහිත ලඳු කැළෑ, මීටර් 2 ක් පමණ උසට වර්ධනය වී තිබෙනු දැකිය හැකිය.

"කුරුගස්කැලේ"  ලෙස හඳුන්වන පිග්මි වනාන්තර, නකල්ස් වනාන්තරයේ දක්නට ලැබෙන අයස්කාන්ත දසුනකි.  මෙම වනාන්තරයේ වසර සිය ගණනක් පැරණි, ඇඹරැණු ශාක දක්නට ලැබෙන අතර, මේවා මීටර් 1 – 2 පමණ උසට විහිදෙන අතු බෙදුණු ශාක වේ.  මෙම ශාකවල කඳන් ලයිකන, පාසි, ඕකිඩ් සහ පර්නාංග වැනි කුඩා ශාකවලින් ආවරණය වී තිබේ. මෙම ශාකවල ස්වරූපය නිරන්තර, දැඩි සුළං තත්වයට දක්වන්නා වූ අනුවර්තනයන්ය.

ජෛව විවිධත්වය - ශාක විශේෂ:

නකල්ස් වනාන්තර ප්‍රදේශයෙන් ශාක කුළ 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් වාර්තා වී තිබේ. මේ අතර, කාෂ්ඨීය ශාක විශේෂ 288 ක් තිබේ.  ශාක විශේෂ අතුරින් 15% ක් ලංකාවට ආවේණික වේ.  පතන තෘණ බිම් ප්‍රදේශයේ තිබෙන Brachystelma lankana නැමති කුඩා පැලය දුම්බර ප්‍රදේශයට සීමා වූ ශාක විශේෂයකි.  මෙම කුඩා ශාකය "පතන අල" (තෘණ බිම් අල) යනුවෙන් හඳුන්වන අතර, ආහාරයට ගන්නා මාංසල ස්කන්ධ ආකන්ධයක් සහිත වේ.

ජෛව විවිධත්වය - සත්ව විශේෂ:

දුම්බර කඳු පන්තිය පක්ෂී විශේෂ 128 කට, උභයජීවී විශේෂ 20 කට, සමනල් විශේෂ 60 කට, මොලස්කාවන් විශේෂ 17 කට, ක්ෂීරපායින් විශේෂ 31 කට, උරගයින් විශේෂ 53 කට සහ මත්ස්‍යය විශේෂ 15 කට වාසස්ථාන සපයයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන පෘෂ්ඨවංශීන් අතුරින් පිලිප්ගේ ගාරා, දන්කුඩු පෙතියා සහ දුම්බර පෙතියා යන මිරිදිය මත්ස්‍ය විශේෂ 3 ද, දුම්බර ගල්පර මැඩියා සහ අං කටුස්සා ද ආවේණික සත්ව විශේෂ වන අතර හුදෙක් දුම්බර කඳු වැටියටම සීමා වී තිබේ.

වල් ඌරා, වල් හාවා සහ මී මින්නා නකල්ස් වන පෙත තුලදී සුලභව හමුවන ක්ෂීරපායීන් වේ.  ඉතාමත් විමසිලිමත් දෑසකින් වනාන්තරයේ සුන්දරත්වය දකින සංචාරකයින් හට මුවන්, ගෝනුන්, අලින්, මී හරක්, උනහපුළුවන්, හිවලුන්, මුගටි, රිලව්, කොළ වඳුරන්, ලේනුන්, උරුලෑවන්, රන් හෝතඹුවන්, ඌරු මීයන් සහ ඉත්තෑවන් නැරඹීය හැකිය.

දුම්බර වනාන්තර ප්‍රදේශයෙන් වාර්තා වි තිබෙන පක්ෂි විශේෂ 128 අතුරින් විශේෂ 17 ක් ලංකාවට ආවේණික වේ.  නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන විශාලතම පක්ෂියා Ictinaetus malayensis වන අතර, කුඩාම පක්ෂියා Dicaeum erythrorhynchos ය.  කොට්ටෝරුවන්, ගිරා මලිත්තන්, පිළිහුඩුවන්, පීතකන් කොණ්ඩයා, දෙමලිච්චන් ශාරිකාවන්, කැහි බෙල්ලන් මෙම මීදුමින් වැසුණු සුන්දර වනාන්තරයේ සුන්දරත්වය තවදුරටත් තීව්‍ර කරයි.

ගල්පරවල පැළුම් තුළ සහ ගස් බෙන තුළ පක්ෂීන් ආහාරයට ගන්නා මකුළුවන් සිටිනු කලාතුරකින් දැකිය හැකිය. Orsotraeina medus සහ Melanitis leda යන සමනල් විශේෂ වනාන්තර භූමියේ සිටිනු දැකිය හැකිය.  මොවුන් කුණු වී යන පළතුරු, සතුන්ගේ මළ ද්‍රව්‍ය සහ දිරාපත් වන වෘක්ෂලතා කොටස් මත යැපේ. Kallima philarchus සමනළ විශේෂය පොළව මත වැටී තිබෙන වියළි ශාක පත්‍රවලට ඉතාම කිට්ටු සමානතාවයක් පෙන්නුම් කරයි.   තව ද ආවේණික සමනල විශේෂ දෙකක් වන Troides darsius සහ Papilio polymnestor ද නකල්ස් වනාන්තරයෙන් වාර්තා වී තිබේ. මොවුහු ලංකාවේ සිටින විශාලතම සමනල විශේෂ අතරට වැටේ.

ජල විද්‍යාත්මක වැදගත්කම:

මහවැලි ගංගාව පෝෂණය කරන්නා වූ ජල දහරා රැසක් සහිත ඉතා වැදගත් ජලධාරාවකි. නකල්ස් වනාන්තර ප්‍රදේශය. නැගෙනහිරින් පිහිටි හීන් ගඟ, මහ ඔය සහ හසලක ඔය ද බස්නාහිරින් පිහිටි හුළු ගඟ සහ ගල්මල් ඔය ද වහවැලි නදිය කරා ගලා බසිති.

සමාජ ආර්ථික වැදගත්කම:

සුවිශේෂි ජීව සංස්කෘතික සහජීවනයක් පෙන්නුම් කරන ගම්මාන 86 ක් පමණ දුම්බර වන පෙත ආශ්‍රිතව පිහිටා තිබේ. මෙයින් 48% ක් පමණ වු ජනගහනය කෘෂිකර්මාන්තයේ නිරතව සිටිති.

අහස තෙක් විහිඳුණු කඳු පන්තියකින් වට වූ මීමුරේ ගම්මානය මී මුරේ ඔය ආශ්‍රිතව පිහිටා තිබේ.  සිංහල රජ දවසේ රාජ උදහසට ලක්ව පිටුවහල් කළ ජනයා මෙම ගම්මානයේ විසූ බව කියැවේ. මෙම ගම්මානය, දුම්බර මිටියාවතේ දක්නට ලැබෙන අතිශයින් පොහොසත් සංස්කෘතික උරුමයේ ජීවමාන නිදර්ශකයකි.

"මී මුරේ" යන නමට අරුත් කිහිපයකි.  ඉන් එකකින් කියැවෙන්නේ මෙම ගම්මානයේ මී ගස් (Madhuca longifolia) සුලභව පැවති බැවින් මෙම නම ලැබුණු බවකි. අදටත් මෙම ගම්මානයේ මී ගස් බහුලව තිබේ.

ස්වභාවික මංපෙත්:

ස්වභාව සෞන්දර්යයේ ආශ්චර්ය විඳගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසමින් සංචාරකයින් හට ගමන් කිරිමට ස්වභාවික මංපෙත් රැසක් මෙන්ම පා පැදිවලින් ගමන් කිරීමට සැකසූ මාර්ග කිහිපයක්ද වේ.

නුවර
ඩීන්ස්ටන් - කුඩා ලෝකාන්තය
ඩීන්ස්ටන් - දොතළුගල
ඩීන්ස්ටන් - හපුගස්කුඹුර
කුඹුක්ගොල්ල - වෙඩි ලුණු ගුහාව
තංගප්පුව - අළුගල් ලෙන
බඹර ඇල්ල - නකල්ස් කඳුමුදුන්
මාතලේ
පිටවල පතන - කුඩා ලෝකාන්තය
ඉලුක්කුඹුර - කොස්ගස්වෙල
කහගල - පොට්ටවෙල - සේර ඇල්ල
ඉලුක්කුඹුර - මානිගල - එතන්වල
රඹුක්ඔළුව - කුරහන්ගල
නාරංගමුව - ලකේගල
රඹුක්ඔළුව - දූවිලි ඇල්ල
එතන්වල - වල්පොලමුල්ල - දූවිලි ඇල්ල
පහසුකම්:

පිටවල පතන සහ ඩීන්ස්ටන් යන ස්ථානවල ස්ථාපනය කර තිබෙන තොරතුරු මධ්‍යස්ථානවලින් සංචාරකයින් හට අවශ්‍ය කරන තොරතුරු අඩංගු මුද්‍රිත ද්‍රව්‍ය සපයන අතර, හඳුන්වාදීමේ වැඩසටහන් ද ඉදිරිපත් කරයි.

නවාතැන් පහසුකම්:
නවාතැන පිහිටීම නවාතැන් ස්වභාවය ලැගුම්ගත හැකි සංඛ්‍යාව
දුම්බර වන නිවහන ඉලුක්කුඹුර ඩෝමෙට්රිය 30
තෙල්ගමු ඔය පාරිසරික නිකේතනය
ඉලුක්කුඹුර කැබින් කාමරය 08
රඹුක්ඔළුව පාරිසරික නිකේතනය
රඹුක්ඔළුව කැබින් කාමරය 08
ඩීන්ස්ටන් සංරක්ෂණ මධ්‍යස්ථානය හුන්නස්ගිරිය බංගලාව 09
ඩීන්ස්ටන් කඳවුරු බිම හුන්නස්ගිරිය කඳවුරු බිම
නවාතැන් පහසුකම් සහ කඳවුරු බිම් වෙන්කිරීම:

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු සියළුම සංචාරක බංගලාවන් / කඳවුරු බිම් වෙන්කිරිම බත්තරමුල්ලේ, රජමල්වත්ත පාරේ, සම්පත්පාය පරිශ්‍රයේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු කෙරේ.  මේ සඳහා වන ඉල්ලීම් සතියේ වැඩ කරන දිනවල පෙ.ව. 9.00 ප.ව. 3.00 ත් අතර ඉදිරිපත් කළයුතුය. මෙම වෙන්කරවා ගැනීම් ස්ථිර කිරිම සඳහා අදාල සම්පූර්ණ මුදලම ගෙවිය යුතුය.

දුරකථන අංක +94 11 2866631, +94 11 2866631, +94 11 2875540
දිගුව 250
ඇමතුම් ස්ථානය වන සංගණන හා කළමනාකරණ අංශය
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:
  • දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, මාතලේ, දු.ක. අංක : (066) 2222138
  • දිසා වන නිලධාරි, දිසා වන කාර්යාලය, නුවර, දු.ක. අංක : (081) 2232873

ඉහළට

අවසන් යාවත්කාලීන කිරීම 2012 මාර්තු 14 වෙනි බදාදා, 11:33
 

eService