Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව අධ්‍යාපනය හා විනෝදාශ්වාදය ජෛවගෝල රක්ෂිත සහ සංරක්ෂණ වනාන්තර
ජෛවගෝල රක්ෂිත සහ සංරක්ෂණ වනාන්තර

ජෛව විවිධත්වය සහ ජල විද්‍යාත්මක වටිනාකම අතින් ඉතාම ඉහළ වැදගත්කමක් සහිත වනාන්තර ප්‍රදේශ අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිත සහ සංරක්ෂණ වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන අතර, මෙම වනාන්තර සෞන්දර්ය නැරඹීම සහ වන විද්‍යා පර්යේෂණ සිදුකිරිම සඳහා පමණක් වෙන්කර තිබේ. වනාන්තරවල ස්වභාව සෞන්දර්ය නැරඹීමට හා ඉන් වින්දනයක් ලබාගැනීමට ඇල්මක් දක්වන අයට ඉතාමත් සුදුසු ස්ථාන ලෙස පහත දැක්වෙන වනාන්තර හැදින්විය හැක.

  1. හුරුළු අන්තර්ජාතික ජෛගෝල රක්ෂිතය
  2. කන්නෙලිය ‍- දෙදියගල - නාකියාදෙනිය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය
  3. උඩවත්ත කැලේ රක්ෂිත වනාන්තරය

හුරුළු අන්තර්ජාතික ජෛගෝල රක්ෂිතය

ඉපැරණි හුරුළු වැව නමින් නම්කර තිබෙන හුරුළු වනාන්තරය 1942 දී රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.  මෙම වනාන්තරය ලංකාවේ වියළි කලාපයේ පිහිටා තිබෙන අතර, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක තුල හෙක්ටයාර් 25,000 ක් පුරා ව්‍යාප්ත වී පවතී.  1977 දී හුරුළු රක්ෂිත වනාන්තරයෙන් හෙක්ටයාර් 512 ක භූමි ප්‍රමාණයක් අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  2007 වසරේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙක්ටයාර 1000 ක බිම් කොටසක් පාරිසරික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර විවෘත කරන ලදි.

ප්‍රවේශය:

හුරුළු රක්ෂිත වනාන්තරයට හබරණ - ත්‍රිකුණාමල ප්‍රධාන පාර ඔස්සේ ළඟාවිය හැකිය. හබරණ දුම්රිය හරස්පාර පසුකර මීටර් 100 ක් පමණ යන විට වම් පසින් මෙම හුරුළු පාරිසරික උද්‍යානයට ඇතුළුවන දොරටුව පිහිටා තිබේ.

දේශගුණය:

හුරුළු වනාන්තර ප්‍රදේශයේ දේශගුණය, වියළි කලාපයේ දේශගුණයට සමානය. වර්ෂාපතනය සාමාන්‍ය අගයක පවතින අතර, ඉහළ උෂ්ණත්වය ද සමඟින් මෙම වර්ෂාපතනය අක්‍රමවත්ව ව්‍යාප්තව පවතී.  ඊසාන දිග මෝසම් කාලයේ දී එනම්, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ කාලයේදී වර්ෂාපතනය ලැබෙන අතර, වසරේ ඉතිරි කාලය ප්‍රධාන වශයෙන් වියළි ස්වරූපයක් ගනියි.  සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1600 ක් ද, සාමාන්‍ය උෂ්ණත්වය 27‘C - 30‘C අතර අගයක පවතී.

වෘක්ෂලතාදී දර්ශ:

මෙම වන රක්ෂිතයේ වියළි මෝසම් වනාන්තර වර්ගය (වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර) දක්නට ලැබේ. සාමාන්‍යයෙන් විශාල ශාකවලින් සැදුම්ලත් ඉහළ වියන් ස්ථරයක් ද කුඩා ප්‍රමාණයේ ශාකවලින් සැදුම්ලත් උප වියන් ස්ථරයක් ද ඉතා පැහැදිලි පැළෑටි ස්ථරයක් ද යනුවෙන් ස්ථරීභවනයක් පෙන්නුම් කරයි.  ඉහළ වියන් ස්ථරය මීටර් 15 – 20 පමණ ඉහළට විහිදී යන අතර, එකිනෙකට ඉතාමත් ළඟින් ඇසුරුණු ‍ශාකවලින් සමන්විත වේ.  මෙම ඉහළ වියන් ස්ථරයට බාධා කරමින් නෙරු ශාක ලෙස ඉහළට වැඩෙන පළු සහ බුරුත ශාක ද දැකිය හැකිය.  උප වියන් ස්ථරය කොරකහ, කුණුමෙල්ල, වැලිවැන්න වැනි ශාක විශේෂවලින් සමන්විත වේ.

ගංගාධා වනාන්තර, තැනින් තැන විසිරුණු විවෘත වනාන්තර සහ කායා, තේක්ක සහ යුකැලිප්ටස් වන වගා වෙන වනාන්තරයේ දක්නට ලැබෙන අනෙකුත් වනාන්තර වර්ග වේ.

ජෛව විවධත්වය - ශාක විශේෂ:

ප්‍රමුඛ ශාක ලෙස බුරුත (Chloroxylon swietenia) සහ පළු (Manilkara Hexandra) ශාක ද, කළුවර  (Diospyros ebenum) ශාකයද දැකිය හැකිය.  මෙම වනාන්තරය තුළදී දැකගත හැකි කාෂ්ඨීය ශාක සමහරකි. පළු, වීර, හල්මිල්ල, කුඹුක්, මී, මිල්ල, කොහොඹ, තිඹිරි, කොලොං සහ නෑබඩ.

ජෛව විවධත්වය - සත්ව විශේෂ:

මෙම වනාන්තරයේ දක්නට ලැබෙන ක්ෂීරපායි සතුන් අතර, ආවේණික රිළවා, උනහපුළුවා, වල් ඌරා, මුවා, කබැල්ලාවා, ඌරු මීයා, ඉත්තෑවා, හාවා, සිවලා, දිවියා, වල් බළලා, මුගටියා, මී හරකා සහ අලියා සුලභව දක්නට ලැබේ. පක්ෂීන් අතර, ආවේණික පක්ෂී විශේෂ රැසක් ද දක්නට ලැබේ.  වලි කුකුළා, හබන් කුකුළා, නිල් මුහුණැති මල් කොහා සහ දුර්ලභ බොරත් කොඩ - කෑරලා මෙලෙස දැකිය හැකි ආවේණික පක්ෂි විශේෂ වේ.

ජල විද්‍යාත්මක වැදගත්කම:

නැගෙනහිර සහ බස්නාහිර දිසාවට යොමු වී තිබෙන එකිනෙකට සම්බන්ධ නොවූ සමාන්තර කඳුවැටි අතර සැළකිය යුතු දිගකින් යුක්ත නොගැඹුරු බේසමක් මෙම හුරුළු වන රක්ෂිතය මගින් සකසා දෙයි. ප්‍රදේශයේ පිහිටි ජල දහරාවන් ඉතා සරල ජලවහන පද්ධතියක් නිර්මාණය කරයි. අළුත් ඔය, හල්මිල්ල ඔය සහ ගල් ඔය ඔස්සේ ජල කඳ මහවැලි ගඟ කරා රැගෙන යයි.  උතුරු සහ ඊසාන දිශාවන්වල පිහිටි ජල දහරා යාන් ඔයට එකතු වේ. වර්ෂාපතනය සෘතුමය ස්වභාවයක් ගැනීම හේතුකොට ගෙන සියළුම ජල දහරා බහු වාර්ෂික වේ.  වියළි කාලයේදී ප්‍රධාන ගංගා තුන හැරුණු විට අනෙකුත් සියළුම දිය දහරා සම්පූර්ණයෙන්ම වියළී යයි.  කෙසේවුවද, අධික වර්ෂාපතනයක් ලබන කාලයේදී බොහෝවිට කෙටි කාලයකට බල පවත්වන පරිදි හෝ ගංවතුර ඇති වේ.  හුරුළු වැවේ ජලාධාරා ප්‍රදේශය හුරුළු ප්‍රදේශයයි. රක්ෂිතය තුළ නටඹුන් ලෙස පැරණි වැවි කිහිපයක් ද පිහිටා තිබේ.

පුරා විද්‍යාත්මක ස්ථාන:

මෙම වනාන්තරයට ආසන්නව පිහිටි තල්ගෙඩිකන්ද වන ආරාමයකි. තිස්ස රජතුමාගේ කාලයට අයත්, පෞරාණික ගොඩනැගිලි, ගල් ගුහා, පොකුණු සහ ස්මාරක රැසක් තිබෙන බැවින් පුරා විද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත වේ.  මෙයට අමතරව ‍ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වූ කටුවැල්ගොඩ රජ මහා විහාරය නැමති තවත් පන්සලක් මෙම ප්‍රදේශයේ තිබේ.

අලි නැරඹුම් ස්ථානය :

ආසියානු අලින්ගෙන් විශාල සංඛ්‍යාවකට වියළි කලාපයේ, වියළි සදාහරිත වනාන්තර තවමත් සෙවණ සපයයි. වියළි කලාපයේ පිහිටි වැදගත් අලි නැරඹුම් ස්ථානයක් ලෙස හුරුළු රක්ෂිතය ප්‍රකටය.  හුරුළු උද්‍යානය තුළ විශාල අලි රංචු සැරිසරනු දැකිය හැකිය.  ඔක්තෝබර් සිට මැයි දක්වා කාල පර්ච්ඡේදයේදී හුරුළු උද්‍යානය නැරඹීමට යන සංචාරකයින් හට දක්නට ලැබෙන සුන්දර දසුනකි, මෙම අලි රංචු.

අනෙකුත් බොහොමයක් වියළි වනාන්තර මෙන් නොව, මෙම වියළි සදාහරිත වනාන්තර වියළි කාලයේදී ද සිය ශාක පත්‍ර ශාකයෙන් පතනයවීමට ඉඩ නොදී තමන් වෙතම රඳවා තබා ගනියි.  හුරුළු වනාන්තරය තුළ තිබෙන තැනිතලා භූමිය, සුලභව තිබෙන තෘණබිම් සහ අවම මට්ටමේ පවත්නා මිනිස් ක්‍රියාකාරකම් හේතුකොට ගෙන මෙම උද්‍යානය අලින් සඳහා කදිම තෝතැන්නකි.  ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුකොටගෙන ඇතිවන ගංවතුර තත්ත්වයන් හමුවේ මින්නේරිය, කවුඩුල්ල වැනි ප්‍රදේශවල සිටින ඇතුන් මෙම ප්‍රදේශයට සංක්‍රමණය වේ.

පහසුකම්:
  • "දෙමටවැව"  පිහිටි නව ගිමන් හල සහ කුරුල්ලන් නැරඹීමේ කුටිය
  • මුළුතැන්‍ ගෙවල් පහසුකම් සහිත කඳවුරු බිම
  • කෞතුකාගාරය
  • ස්වභාවික මංපෙත්
  • "බැලුම්ගල" පිහිටි නැරඹුම් අට්ටාලය

ඉහළට

කන්නෙලිය ‍- දෙදියගල - නාකියාදෙනිය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය

කන්නෙලිය - දෙදියගල - නාකියාදෙනිය (KDN) වනාන්තර සංකීර්ණයේ කොටසක් වන කන්නෙලිය වනාන්තරය ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ ගාල්ල නගරයට කිලෝමීටර් 35 ක් පමණ ඊසාන දෙසට වන්නට පිහිටා තිබේ. කන්නෙලිය - දෙදියගල - නාකියාදෙනිය වනාන්තර සංකීර්ණයේ වපසරිය හෙක්ටයාර් 10,867 ක් වන අතර කන්නෙලිය වනාන්තරයේ විශාලත්වය හෙක්ටයාර් 6,144 ක් වේ. කන්නෙලිය වනාන්තරයේ ඉතිහාසය ස්වභාවධර්මයේ චමත්කාරය විදහා පාන කතා වස්තුවකි.  දශක හතරක පමණ කාලයක් පුරාවට මහා පරිමාණයෙන් සිදුකළ වරණීය හෙළීම් කටයුතුවලින් පසුව සිංහරාජ වනාන්තරයට පසුව හමුවන දැනට පවත්නා වඩාත් පිරිපුන් පහතරට වර්ෂා වනාන්තර කොටස ලෙස යථා තත්ත්වයට පත්වීමට මෙම වනාන්තරයට අවස්ථාව උදාවිය. (සිතියම)

1934 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කන්නෙලිය වනාන්තරය රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  පසුව, එනම් 1990 දශකයේ මුල් භාගයේදී මෙය සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කරන ලදි.  යුනෙස්කෝ (UNESCO) ආයතනයේ මිනිසා සහ ජෛවගෝල වැඩසටහන යටතේ 2004 වර්ෂයේදී කන්නෙලිය වනාන්තරය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  කන්නෙලිය වනාන්තරය, බෝග වල් දර්ශවල ස්ථානීය සංරක්ෂණය සඳහා උචිත ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ.

ප්‍රවේශය:

කන්නෙලිය වනාන්තරයට කෝරලේගම - කන්නෙලිය මාර්ගය ඔස්සේ ලඟාවිය හැකිය. මෙය උඩුගම - හිනිඳුම ප්‍රධාන මාර්ගයට ඔබ්බෙන් වූ රථ වාහන ගමන් කළ හැකි කුඩා මාර්ගයකි.  මෙම මාර්ගය කන්නෙලිය වනාන්තරය කරා දිවෙන අතර, නන්නිකිත ඇළ අසළ තිබෙන ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී අවසන් වේ. මෙම ස්ථානයේ සිට දැව හෙළීම් කටයුතු සඳහා භාවිතා කළ පැරණි මාර්ගය දැකිය හැකිය.

දේශගුණය:

KDN සංකීර්ණයේ සාමාන්‍ය භූ විෂමතාවයට කඳු වැටි, නිම්න සහ අඩු උසකින් යුක්ත හුදෙකලා කඳු ඇතුළත් වේ.  දළ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 3500 – 4500 ත් අතර අගයක පවතින අතර, නිරිත දිග මෝසම් කාලයේදී එනම්, මැයි මස මැද භාගයේ සිට සැප්තැම්බර් මස අග දක්වා සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 4445 ක් පමණ වේ. සාමාන්‍ය මාසික උෂ්ණත්වය 27‘C පමණ වන අතර, දවස තුළ උෂ්ණත්වය 4‘C - 5‘C අතර පරාසයක් තුළ වෙනස් වේ. මාර්තු මස මැද සිට මැයි මස මැද දක්වා කාලයේදී උපරිම උෂ්ණත්වයක් වාර්තා වේ.

වෘක්ෂලතාදී දර්ශ:

දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත එක් වනාන්තරයකි, KDN සංකීර්ණය. මෙය පහතරට තෙත් සදාහරිත වනාන්තරයක් ලෙස වර්ගීකරණය කර තිබේ.  මෙම වනාන්තරයේ ව්‍යූහය සළකා බලන විට එය ලාක්ෂණික ස්ථර රැසකින් සමන්විත, ජීවී විවිධත්වය අතින් ඉතා ඉහළ තලයක පවතින, ඉතාම ඉහළ මට්ටමක වර්ධනයක් පෙන්නුම් කරන වනාන්තරයකි. KDN වනාන්තරයේ ස්වභාවික වෘක්ෂලතා දී දර්ශය නියෝජනය කරන ප්‍රමුඛ ශාක ලෙස නා-දුන් සංගමය දැක්විය හැකිය.  කන්නෙලිය වනාන්තරයේ ප්‍රමුඛ ශාක කුලය ලෙස හොර කුලය හැඳින්විය හැකිය.  අතීතයේදි මහා පරිමාණයෙන් සිදුකළ දැව හෙළීම් හේතුකොට ගෙන මෙම වනාන්තරයෙන් වැඩි කොටසක් අදටත් ද්විතියික වනාන්තර ලෙස පවතී.  කෙසේවුවද, ශාක විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක පවතින අතර, සපුෂ්ප ශාක විවිධත්වය ද සාපේක්ෂව ඉහළ අගයක පවතී.

ජෛව විවිධත්වය - ශාක විශේෂ:

කන්‍නෙලිය වනාන්තරයෙන් ශාක විශේෂ 301 ක් වාර්තා වී තිබේ.  මෙම ශාක විශේෂවලට ශාක, පඳුරු සහ පැළෑටි අයත්වන අතර, ඉන් 25% ක්ම ශ්‍රී ලංකාවට ආවේණික වේ.  මෙම ශාක විශේෂ අතුරින් විශේෂ 15 ක් විශේෂයෙන්ම වඳවීයාමේ තර්ජනයට ලක් වී තිබෙන අතර, විශේෂ 26 ක් අප රටෙන් වඳවීයාමේ තර්ජනයට ලක්වී තිබේ.  කන්නෙලිය වනාන්තරය, තෙත් කලාපීය වනාන්තර අතුරින් ඉහළම ආවේණික, කාෂ්ඨීය ශාක විශේෂ ප්‍රතිශතයක් (60%) සතුවන තෙත් කලාපීය වනාන්තරයකි.

ජෛව විවිධත්වය - සත්ත්ව විශේෂ:

සංකීර්ණ පරිසර තත්වයන්ගේ සංකලනයක් වන සාමාන්‍යයෙන් මිනිස් බලපෑම්වලට අඩුවෙන් ලක් වූ KDN වනාන්තරය ඉතා ඉහළ විවිධත්ත්වයකින් සහ ඉතා ඉහළ ආවේණිකත්වයක් පෙන්නුම් කරන සත්ව විශේෂ රැසකට වාසස්ථාන සපයයි. KDN වනාන්තර සංකීර්ණයේ සහ එයට යාබදව පිහිටි අනෙකුත් වනාන්තරවලින් සත්ව විශේෂ 220 ක් පමණ වාර්තා වී තිබෙන අතර, ඉන් විශේෂ 41 ක් ආවේණික වේ.

ඉතා ඉහළ ශාක ඝනත්වයකින් යුක්ත වනාන්තර ප්‍රදේශ, ගංගාධාර වනාන්තර, මිනිස් බලපෑමට ලක් වූ ප්‍රදේශ සහ අවට තිබෙන ගෙවතු යනාදී විවිධාකාර වාසස්ථාන තුළ ලංකාවේ වෙසෙන ආවේණික පක්ෂීන්ගෙන් බහුතරයක් ද ඇතුළුව තෙත් කලාපිය වානන්තරවලදී නිරික්ෂණය කළහැකි පක්ෂීන් රැසක් වාසය කරති.  මෙම පක්ෂීන් නිරීක්ෂණය කිරිමට KDN වනාන්තර සංකීර්ණය කදිම ස්ථානයකි.  වනාන්තරයේ තිබෙන ස්ථරීභවන ස්වභාවය පක්ෂීන් සඳහා විවිධාකාර වාසස්ථාන නිර්මාණය කරදෙයි.  මේ හේතුවෙන් වනාන්තරය තුළදී පක්ෂි විශේෂ ගණනාවක් එකතු වී "නඩ" ලෙස සැරිසරන පක්ෂී සමූහයන් දැකිය හැකිය.  මෙම පක්ෂී නඩ, ඇතැම් විට පක්ෂී විශේෂ 30 – 35 ක් වැනි විශාල විශේෂ සංඛ්‍යාවකින් සමන්විත වේ. මෙම සුන්දර දසුනින් වනාන්තරයේ සුන්දරත්වය තීව්‍ර වේ.

මෑතකදී සිදුකරන ලද අධ්‍යයනයකට අනුව KDN වනාන්තර සංකීර්ණයේ පක්ෂී විශේෂ 120 ක් පමණ වෙසෙන බව තහවුරු වී තිබේ.  මෙම පක්ෂී විශේෂ අතර, ශ්‍රී ලංකාවෙන් වාර්තා වි තිබෙන ආවේණික පක්ෂී විශේෂ 23 න් 14 ක්ම වාර්තා වි තිබේ.  KDN වනාන්තර සංකීර්ණයේ ඉතා කුඩා පක්ෂීන් මෙන්ම ඉතා විශාල පක්ෂීන් ද සිටිති.  වනාන්තරයේ යටි වගාවේ හිස කළු පදුරු දෙමලිච්චන් සිටින අතර වියන් ස්ථරවල රතු මුහුණැති මල් කොහා වාසය කරයි.

දුර්ලභ උභයජීවී විශේෂ ලෙස සලකන Nannophrys guentheri, Ramonella palmata සහ Icthyophis glutinosus ඇතුළු ගෙම්බන්, මැඩියන් සහ ගස් ගෙම්බන් විශේෂ කිහිපයක් ද KDN වනාන්තරය තුළින් හමුවේ.

වනාන්තරය තුළ ශාක විශෙෂ රාශියක් තිබෙන බැවින් සමනල් විශේෂ රැසක් ද වාර්තා වී තිබේ. මේ අතර, ආවේණික සමනල් විශේෂ 2 ක්ද සිටිති.

විවිධ වර්ගවලට අයත් සූනන්, සිකනලුන් සහ කටුස්සන් ද, සර්පයින් ද මෙම වනාන්තරය තුළ බහුලව හමුවේ. ශ්‍රී ලංකාව තුළ හමුවන විශාලතම සර්පයා වන ඉන්දියානු පිඹුරා ද KDN වනාන්තරය තුළදී දැකිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ හමුවන මිරිදිය මත්ස්‍යය විශේෂ අතරින් 1/3 ක්ම ආවේණික වන අතර, කන්නෙලිය වනාන්තරයෙන් ආරම්භ වන දිය දහරා එනම්, ගිං ග‍ඟේ අතු ගංගාවල මෙම මත්ස්‍යය විශේෂ අතුරින් බොහොමයක්ම වාර්තා වී තිබේ.  මෙම මත්ස්‍යය විශේෂ, ජල පහරේ ස්වභාවය සහ උප ස්ථරයේ ස්වභාවය  අනුව  ජල පහරේ විවිධ ස්ථානවලට සීමා වී තිබේ.  KDN වනාන්තරය තුළදී හමුවන ගොඩබිම වාසය කරන ගොළුබෙල්ලන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකාවට ආවේණික වේ.

කුඩා ප්‍රමාණයේ ක්ෂීරපායි විශේෂ කිහිපයක් ද මෙම ප්‍රදේශයේ හමුවන අතර, මෙම විශේෂ අතුරින් ගෝනා විශාලතම ශාක භක්ෂක සත්ත්ව විශේෂය වේ. ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම මාංශ භක්ෂක සත්ත්වයා වන දිවියා ද මෙම වනාන්තරය තුළින් වාර්තා වි තිබේ.  කන්නෙලිය වනාන්තරය තුලදී දැක ගන්නට ලැබෙන සුලභම ක්ෂීරපායි විශේෂ වන්නේ දඩු ලේනා සහ දම් මුහුණැති කොළ වඳුරාය.

ජල විද්‍යාත්මක වැදගත්කම:

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි වැදගත් ප්‍රධාන ගංගාවන් වන ගිං ගඟ සහ නිල්වලා ගඟට ජලය සපයන ජල දහරා ආරම්භ වන්නේ මෙම KDN වනාන්තරය තුළින් බැවින් මෙම වනාන්තර සංකීර්ණය ජල විද්‍යාත්මකව ඉතාම වැදගත් වේ.  වනාන්තරය තුලින් ආරම්භ වන දිය දහරා විශාල සංඛ්‍යාවක් පවතින බැවින්, ජල විද්‍යාත්මක වැදගත්කම අතින් දකුණු ලංකාවේ මුල් ස්ථානය කන්නෙලිය වනාන්තරයට හිමිවේ. මෙම කුඩා ජල දහරාවන් ප්‍රධාන දිය දහරා තුනකට ජලය සපයන අතර, මෙම අතු ගංගා තුන ඔස්සේ ගිං ගඟට ජලය සැපයේ. එක් අතු ගංගාවකින් අනගිමල ඇල්ල සහ නාරංගස් ඇල්ල යන අති සුන්දර දිය ඇලි උපත ලබයි.

සමාජ ආර්ථික වැදගත්කම:

KDN වනාන්තරය වටා ගම්මාන 78 ක් පිහිටා තිබේ. මින් ගම්මාන 24 ක් වන සංකීර්ණයට ඉතාමත් ආසන්නව පිහිටා තිබේ. KDN වන සංකීර්ණය අවට පිහිටි ගම්මානවල ග්‍රාමීය ආර්ථිකය මූලික වශයෙන් තේ සහ වී ගොවිතැන මත පාදක වී තිබේ.  ගෙවතුවල මිශ්‍ර බෝග වගාකර තිබේ. ඇතැම් ගැමියන් කිතුල්, වේවැල් සහ උණ ආශ්‍රිත කුඩා පරිමාණයේ ගෘහ කර්මාන්තවල නිරත වී සිටිති. දර, කුඩා පරිමාණ දැව අවශ්‍යතාවයන් සහ විශේෂයෙන්ම ඖෂධීය පැලෑටි ඇතුළු දැව නොවන වනජ ද්‍රව්‍ය සඳහා මෙම ගම්මානවල වෙසෙන ගැමියන් යොමුවන්නේ වනාන්තරය වෙතය. මෙම වනාන්තරය තුළ ආරාම ආකාරයේ පන්සල් තුනක් දක්නට ලැබෙන අතර, වනාන්තර සංකීර්ණය සමඟ අවට ගම්මානවල ජනයාගේ විශාල ආගමික බැදීමක් පවතී.

ස්වභාවික මංපෙත්:

ස්වභාවධර්මයේ විශ්මිත දායාදයන් ගවේෂණය කිරිමට උනන්දුවක් දක්වන පාරිසරික සංචාරකයින් හට ඉතාමත් හොඳින් එම අත්දැකීම් විඳීමට අවස්ථාව සලසාදීම සඳහා වනාන්තරය තුළ ස්වභාවික මංපෙත් රැසක් නිර්මාණය කර තිබේ.

  • අනගිමල ඇල්ල
  • වවුල් ලෙන
  • නාරංගස් ඇල්ල
  • ලිහිණිගල් ලෙන
  • කබ්බලේ කන්ද සහ එයට තිබෙන ප්‍රවේශය
පහසුකම්:
  • පුහුණු මාර්ගෝපදේශකයින්
  • වනාන්තරයේ විවිධ ස්ථානවල නිරීක්ෂණ අට්ටාල සහ ගිමන් හැරීමට ස්ථාන
  • තොරතුරු මධ්‍යස්ථානයකින්, ප්‍රවේශ පත්‍ර අලෙවි කරන කාර්යාලයකින්, සම්මන්ත්‍රණ ශාලාවකින් සහ පිටත හිඳගෙන විවේක ගැනීමට සැකසුණු ස්ථානවලින් සමන්විත වූ සංරක්ෂණ මධ්‍යස්ථානය.
  • අලෙවි මධ්‍යස්ථානයෙන් තොරතුරු සපයන්නා වූ මුද්‍රිත ද්‍රව්‍ය මිලදීගත හැකිය.
නවාතැන් පහසුකම් :

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තරය අසලින් නවාතැන් ගැනීමට අවශ්‍ය කරන පහසුකම් සපයා දී තිබේ.

නවාතැන පිහිටීම නවාතැන් ස්වභාවය ලැගුම්ගත හැකි සංඛ්‍යාව
තවලම තවලම කැබින් කාමර 1 12

කැබින් කාමර 2 05
කැබින් කාමර 3
12
කැබින් කාමර 4
06
නවාතැන් පහසුකම් සහ කඳවුරු බිම් වෙන්කිරීම:

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු සියළුම සංචාරක බංගලාවන් / කඳවුරු බිම් වෙන් කිරීම බත්තරමුල්ලේ, රජමල්වත්ත පාරේ, සම්පත්පාය පරිශ්‍රයේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු කෙරේ.  මේ සඳහා වන ඉල්ලීම් සතියේ වැඩකරන දිනවල පෙ.ව. 9.00 - ප.ව. 3.00 ත් අතර ඉදිරිපත් කළයුතුය. මෙම වෙන්කරවා ගැනීම් ස්ථිර කිරිම සඳහා අදාල සම්පූර්ණ මුදලම ගෙවිය යුතුය.

දුරකථන අංක : 2866631 , 2866631 , 2875540
දිගුව : 250
ඇමතුම් ස්ථානය : වන සංගණන හා කළමනාකරණ අංශය
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:
  • දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, ගාල්ල, දු.ක. අංක : (091) 2234306

ඉහළට

උඩවත්ත කැලේ රක්ෂිත වනාන්තරය

ක්‍රි.පු. 1371 දී නුවර නැමති නගරයේ ප්‍රාරම්භකයා වූ ගම්පොළ වික්‍රමබාහු රජතුමා එවකට ඝන වන භූමියක්ව පැවති උඩවත්ත කැලේ සිය මාලිගය ඉදිකරන ලදි. 1815 දක්වා උඩවත්ත කැලේ රාජකීයන් සඳහා පමණක්ම වෙන්කර තැබිණි.  එය සාමාන්‍ය ජනයාට තහනම් වූ වනාන්තර ප්‍රදේශයක් විය.  රාජ්‍ය පාලනය සාමකාමීව සිදුවන අවධියේ දී උඩරට රජවරුන් හට උඩවත්ත කැලේ සතුටු උයනක් වූ අතර, යුද්ධ කාලයේදී වනාන්තරයේ තුරු වඳුළු අතර සැඟවී සිටිමින් එය ආරක්ෂිත ස්ථානයක් බවට පරිවර්තනය කර ගත්හ.

උඩවත්ත කැලේ, නුවර නගරයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් නුවර වැවට උතුරු දෙසින් පිහිටා තිබේ.  මෙම උඩවත්ත කැලේ රාජකීය වන උයන වර්තමානයේ දී හෙක්ටයාර් 104 ක් පමණ ආවරණය කරමින් පිහිටා තිබේ.  මෙය අද දිනයේ ඉතාම සුවිශේෂී වනාන්තරයක් ලෙස සැලකේ.  මන්දයත්, ඉතා ඉහළ ජනගහනයකින් යුක්ත නිරතුරු හැලහැප්පීම්වලට ලක්වන ඉතාම කාර්යබහුල නගරයක් මධ්‍යයේ මෙම සාරවත් වන පියස පිහිටා තිබෙන බැවිනි.  බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීමත් සමඟම හමුදා බැරැක්ක ඉදිකිරීමේ අවශ්‍යතාව පැන නැඟුනි.  මෙසේ වූයේ උඩරැටියන් සැඟවී පහරදෙතැයි කියා ඇති වූ භීතිය හේතුවෙනි.  කෝපි වගාව ව්‍යාප්ත වීම සහ වැඩි වැඩියෙන් ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කිරිම යන හේතු නිසාවෙන් වැඩි වැඩියෙන් නොඉඳුල් වනාන්තරය එළිපෙහෙලි වන්නට විය.

උඩවත්ත කැලේ, පෙර රජ දවසේ පැවති පෞඩ ශ්‍රී විභූතිය නැවත ඒ ආකාරයටම පවත්වාගෙන යෑම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කර තිබේ.  නැවත වන වගා කිරීමේ දැවැන්ත වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස උඩවත්ත කැලේ පැවති එම අතීත ශ්‍රී විභූතිය බොහොදුරට අදටද පවත්වා ගැනීමට හැකි වී තිබේ. අනාදිමත් කාලයේ පැවති වනාන්තරයේ ඉසුරුමත් බව අදට ද උඩවත්ත කැලය තුළ ඇතැම් ප්‍රදේශවල දැකිය හැකිය.

බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් රක්ෂිත වනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රථම වනාන්තරය උඩවත්ත කැලයයි. 1897 දී එවකට පැවති රජය විසින් උඩවත්ත කැලේ රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  නුවර නගරයට මෙම වනාන්තරය මඟින් එකතු කරනු ලබන සුන්දරත්වය හේතුකොට ගෙන මෙලෙස මෙම වනාන්තරය රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව කියැවේ. 1938 දී මෙය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  වර්තමානයේදී මිනිසාගේ තරාතිරම නොතකා සුන්දරත්වයේ පහස විඳීමට පැමිණෙන සංචාරකයින් සියළු දෙනා පිළිගැනීමට මෙම ස්වභාව ධර්මයේ ආශ්චර්යමත් නිර්මාණය සැදී පැහැදී බලා සිටියි.

දේශගුනය:

වනාන්තරයේ දේශගුණය නුවර දේශගුණික තත්වයන්ට සමාන වේ. නිරිත දිග මෝසම මැයි මස මැද භාගයේ සිට ජුලි / අගෝස්තු දක්වා ක්‍රියාත්මක වන අතර, ඊසාන දිග මෝසම ඔක්තෝබර් / නොවැම්බර් සිට ක්‍රියාත්මක වේ. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1615 ක් පමණ ද, උෂ්ණත්වය 24‘ C ක් පමණ ද වේ.

ජල විද්‍යාත්මක වැදගත්කම:

ඉතා ඉහළ ජනගහනයක් වෙසෙන නුවර නගරයේ ජල මාර්ගවල ඉතාමත් වැදගත් ජලාධාරයක් ලෙස උඩවත්ත කැලේ වනාන්තරය ක්‍රියා කරයි.  අති රමණීය නුවර වැවට ජලය සපයන ජල මූලාශ්‍ර පෝෂණය වන්නේ ද උඩවත්ත කැලයෙනි.  පරිසර දූෂණය පාලනය කරන්නා වූ පාලකයෙක් වශයෙන් සහ නුවර නගරය වටා සිසිල්, සෞම්‍ය ක්ෂුද්‍ර පාරිසරික තත්වයක් සඳහා දායකයෙක් වශයෙන් උඩවත්ත කැලේ වැදගත් වේ.

ජෛව විවිධත්වය - ශාක විශේෂ:

මෙම වනාන්තරයේ වෘක්ෂලතා දී දර්ශ ප්‍රධාන වශයෙන් වන වගා සහ ද්විතියික වනාන්තර යන මේවායේ සංකලනයෙන් ඇති වූ තරමක ඝන වනාන්තරයකි.  ඇතැම් ස්ථානවලදී මෙම වනාන්තරය කෙතරම් ඝනකම් ද යත්, එම ස්ථානවලදී වනාන්තරය හරහා ගමන් කිරිමට නොහැකි වන පරිදි වැල් මෙන් වර්ධනය වන උණ විශේෂයකි.  මෙම වනාන්තරය තුළ ශාක විශේෂ 460 ක් පමණ හමු වී තිබේ.  මේවා අතර, ශාක විශේෂ 135 ක් සහ වැල් වර්ග 11 ක් පමණ වන අතර, ඉන් විශේෂ 09 ක් ශ්‍රී ලංකාවට ආවේණිකය.  මෙම වනාන්තරය තුළ මැහෝගනී, ගිනිසපු, නා සහ කට්ටකුමංජල් යන ශාක විශේෂ ප්‍රමුඛ ශාක ලෙස දැකිය හැකිය.  කට්ට කුමංජල් ශාකය, මෙම රටට හඳුන්වා දුන් විදේශීය ශාකයක් වන අතර, පසු කලකදී ආක්‍රමණශීලී ශාක විශේෂයක් ලෙස වනාන්තරයේ ජෛව විවිධත්වයට තර්ජනයක් වී තිබේ. "වෙසක් ඕකිඩ්" යනුවෙන් හඳුන්වන ඉතාම දුර්ලභ ආවේණික ඕකිඩ් විශේෂයකට උඩවත්ත කැලේ ස්වභාවික වාසස්ථානයක් වී තිබේ.  යෝධ පුස් වැල මෙම වනාන්තරය තුලදී දැකිය හැකි ඉතාම සුවිශේෂී දසුනකි. මෙම පුස්වැලේ අඩි පහකට වඩා වැඩි දිගකින් යුක්ත කරල් හටගත් බවත්, මෙම කරල් පැරැණ්නන් විසින් යම් යම් ද්‍රව්‍ය අසුරා තැබීමට පෙට්ටි ලෙස / මංජුසා ලෙස යොදාගත් බවත් කියැවේ.  වසර 200 – 300 ක් පමණ වයසැති යෝධ පුස්වැලක් "කොඩිමලේ" නැමති ස්ථානයේදී දැකිය හැකිය.  මෙම රක්ෂිතය තුළ උසම ස්ථානය වන "කොඩිමලේ" මුහුදු මට්ටමේ සිට අඩි 1800 ක් පමණ ඉහළින් පිහිටා තිබේ.  පැරණි රජවරු විශේෂ අවස්ථාවලදී කොඩි එසවීම සිදුකරන ලද්දේ මෙම ස්ථනයේය.

‍ජෛව විවිධත්වය - සත්ත්ව විශේෂ

අං කටුස්සා මෙම වනාන්තර තුළදී හමුවන දුර්ලභ කටුසු විශේෂයකි.  හඳුන් දිවියා, වල් ඌරා, වඳුරා, හාවා, ලේනා, ඉත්තෑවා සහ කබල්ලෑවා මෙම වනාන්තරය තුලදී හමුවන ක්ෂීරපායි සතුන්ය.  රිලවුන් රංචු වනාන්තරය තුළ දක්නට ලැබෙන සුලභ දසුනකි.  ‍මෙම උප විශේෂය කඳු රටට සුවිශේෂී වූ උප විශේෂයක් වන අතර, ඝනකම් ලෝම ආවරණයකින් සම්පූර්ණ ශරීරයම වැසී තිබේ. උඩවත්ත කැලය හා සම්බන්ධ සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් එහි සිටින අධික පක්ෂී විශේෂ සංඛ්‍යාව දැක්විය හැකිය.  කහ කුරුල්ලා, කොවුලා, පිළිහුඩුවා, නිල්පිය කොළරිසියා, අළු කොබෙයියා, නීල කොබෙයියා, ටිකල් නිල් - මැසිමාරා, ආසියා රැහැන්මාරා, කොණ්ඩකුස්සා, සිළු සරපකුස්සා, රත්මූණත් කොට්ටෝරුවා, පොලොස් කොට්ටෝරුවා සහ පෙරදිගු රන් - පිළිහුඩුවා උඩවත්ත කැලේ සුන්දරත්වය වැඩි කරමින් සැරිසරනු මෙම වනාන්තරයට පවිසෙන ඕනෑම පුද්ගලයෙකුට දැකගත හැකිය.  ශ්‍රී ලංකාවේ පිහිටි, ඉතාම පහසුවෙන් යමෙකුට ළඟාවිය හැකි පක්ෂී අභය භූමිය ලෙස උඩවත්ත කැලේ හැඳින්විය හැකිය.

පොකුණ:

මෙම වනාන්තරය මධ්‍යයේ සුන්දර පොකුණක් පිහිටා තිබේ. මෙම පොකුණ වටා, උසට වැඩුණු විවිධ විශේෂවලට අයත් ශාක විශේෂ පවතින අතර, එය ආසන්නයේ සරුව වැඩුණු උණ පඳුරකි. බොහෝ පැරැන්නන්ගේ අදහස නම්, නුවර නගර මධ්‍යයේ සිට මෙම පොකුණට උමගක් පවතින බවයි.

මංපෙත්:

වනාන්තරය තුළ මංපෙත් රැසක් දක්නට ලැබේ. ඉන් පැරණිතම මංපෙත වන්නේ හෝර්ටන් ආර්යාව අනුස්මරණය කිරිම සඳහා 1934 දී ඉදිකරන ලද හෝර්ටන් ආර්යාවගේ මංපෙතයි.  මෙම සුන්දර වනාන්තරය මධ්‍යයේ පිහිටි පොකුණ වටා දිවෙන පරිදි ඉදිකර තිබෙන පටු මාර්ගය ගස් හා පඳුරු බහුලව පවත්නා සෙවණැති, සිසිල් පරිසරය තුළින් වැටී තිබෙන බැවින් එහි ගමන් ගන්නා අයට ඉතාමත් සුවදායී අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සැලසේ.

සෙංකඩ ගුහාව:

ඵෙතිහාසික ලියකියවිලිවලට අනුව, ‍"සෙංකඩ" නම් වූ තාපසයෙක් සිංහල රජ දවසේ අප රටේ වාසය කර තිබේ.  ඔහුගේ අදහස වී ඇත්තේ උඩවත්ත කැලේ ඉතාමත් වාසනාවන්ත වූද, ජහග්‍රහණ අත්පත් කරදීමේ හැකියාවක් සහිත වූද, ස්ථානයක් බැවින්, රජතුමාගේ වාසස්ථානයට කදිම බවකි.  ඒ අනුව රජතුමා සිය මාලිගය මෙම ස්ථානයේ ඉදිකර තිබේ.  ඔහුව අනුස්මරණය කරමින් මාලිගය පිටුපස තිබෙන ගුහාව "සෙංකඩ ගුහාව" නමින් හඳුන්වා තිබේ. අදට ද දක්නට ලැබෙන්නේ මෙම ගුහාවයි.

පන්සල් සහ ආරාම:

සිංහල රජ සමයේදී භාවානායෝගීව වැඩ වසන භික්ෂූන්ට මෙම වනාන්තරය විවෘත කරන ලදි. වන අරණ සහ සේනානායක ආරාමය, තපෝවන පන්සල, කීර්ති ශ්‍රී පොත්ගුල් විහාරය, සිරිවර්ධනාරාමය සහ ‍පෞරාණික ගංගාරාම විහාරය උඩවත්ත කැලේදී හමුවන ප්‍රසිද්ධ පන්සල් පහ වේ. මෙයට අමතරව තවත් පන්සල් කිහිපයක් තිබෙන අතර, මෙයට අසළ පිහිටි භාවනා මධ්‍යස්ථානය ඇතුළත් වේ.

ගැරිසන් සොහොන:

ශ්‍රි ලංකාවේ විසූ බ්‍රිතාන්‍ය ජාතිකයින් මියගිය පසු වැළලූ සොහොනක් උඩවත්ත කැලේ දක්නට ලැබේ. මෙය ගැරිසන් සොහොන ලෙස හැඳින් වේ. මෙහි දක්නට ලැබෙන ජනප්‍රිය සොහොන් කොත් අතුරින් එකකි, ශ්‍රීමත් ජෝන් ඩොයිලී ගේ සොහොන් කොත.

ඉහළට

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 18 වෙනි බදාදා, 16:09